Sunday, February 17, 2013

07.

දුක අසා ලඟින් හිඳ
කඳුළු කැට අතින් පිස
හිස අතගා සෙනෙහෙ පුදා
ඇතුළු වුනේ ඇයි හදවතට ඔබ?

ජිවිතයේ ඉතිරි දුර
ළඟ ඉඳන් ගෙවන්නට
අතින් අත පටලවන්
යනෙන ලෙස ඉඟිකළේ කිම?

සෝ කඳුළු ගංගාවෙ
පාළුවේ පාරුවේ
ඔබ නමැති හබල නෑ අද
බෝ දුරයි සතුටු සාගරේ...

පිහිනන්න හැකි උවත්
ගඟේ සැඩ පහර මැද
හිනැහෙන්න බෑ මසිත
ඔබ නැති දුකින් මගහැර...

Monday, February 4, 2013

06.

සිනහවේ රන් ඉරක් ඔබෙ වතේ පායද්දි
ආදරේ සුදු නෙළුම් ඔබෙ වතේ පූදිද්දි
බාධාවෙ වැට කඩොළු මග අවුරා ඉද්දි
සෝ දුකේ කදුළුබිඳු හදවතේ ඉකිබිඳී...

Thursday, January 31, 2013

05.

සුදුම සුදු සුදු නෙළුම
    පිපෙන්නට සැරසේවි
එකම එක එක ඉරක්
    අපිට හෙට පායාවි
හෙටම හෙට හෙට දවසෙ
    අපිට අපි හිමිවේවි
සිතම සිත සිත පතන
    එකම දේ ඔබ පමණි

Tuesday, January 29, 2013

04.

සමනලුන්ගේ පියාපත්වල
පාට තැවරී තියෙන ලස්සන
සමනල් ත‍ටුවක් වාගෙම ඔබගේ
හදවත ආදරෙ කරනා ලස්සන...

සමනලයා විත් මල් පැණි බීවට
කවදාවත් නෑ ‍රැඳුනේ මල ළඟ
ඔබේ ආදරෙත් සමනලයෙක්මයි
කවදාවත් නෑ ‍රැඳුනේ මා ළඟ...

Monday, January 21, 2013

03.

සේපාලිකා මල් පූදින
කණාමැදිරි එළි වෑහෙන
පුන් සඳ හිනැහෙන රෑකට
පතනෙමි ඔබ හට නිදි සුව!

Friday, January 18, 2013

02.

රෑ අහස් කුස පුරා
දිලෙන තනි තරුවක්ය...
සුදු රෝස යාය මැද
පිපුණු රතු මලක් නුඹ...
ආකාසේ හැඩ කරන
හැති දේදුන්න ඔබ...
දිවිය ඇති තෙක් තුරා
මා ලඟින් ඉන්න නුඹ...!

01.

සඳ නැති කළුවර රෑ ආකාසේ
තනිකම වපුරයි පාලු හදවතේ
ඔබ හා සැරිසැරූ මාවත් අතරේ
මතකය දිවයයි සුසුමන් මැද්දේ